Sunday, 21 December 2008

බලා සිටිමි පෙරමග...


කුපිත වු උදම් රළ රැගෙන ගිය මගේ මව
එනතුරා සිටින්නෙමි වෙරළ අසලට වෙලා
නෙත් පෙනන මානයේ නොපෙනුනත් ඇගේ රුව
රිදෙන තුරු දෙනෙත් මගෙ සිටින්නෙමි නෙත් අයා.............

Wednesday, 17 December 2008

සිත හඩන තරම් ....

දගකාර කමට ඔබ.....
කල වරද පිළි නොගෙන
වැරදි කල නිසාවෙන්
තැලුවෙමි කෝටුවෙන්...

පුංචි සිත රිදවිලා
හඩාවැටෙමින් එසද
රෝස කම්මුල් දිගේ
බේරුනා කදුලු බිදු.............

සිතට ආ වේගයන්
පාලනය කිරීමට
අපොහොසත් වු මසිත
සලිත විය මොහොතකට............

පහර දුන්නත් මෙ‍සේ
යහමගට ගන්න ඔබ
දඩුවමක් දුන් නමුත්
සමාදෙනු පුතණුවනි ....

Saturday, 13 December 2008

අපට උරුම ඉතිහාසය

අතීතයෙ උපන් අප රටෙ හෙළ දරුවෝ
රට දැය කෙරෙහි ජාතික ඇල්ලමක් දැරුවෝ
අහස උසට දිස්වන වෙහෙරද තැනුවෝ
යෝධ ශක්තියෙන් ගල් කණු සිට වුවෝ

Sunday, 7 December 2008

නිදි මතද මගෙ දුවේ.......


ශිල්ප ඉගෙනුම පිණිස විදු පියස වෙතට යන
එයින් නික් මුන විගස උපකාර පංති යන
අදුර සමගින්ම ඔබ නිවෙස වෙත පිය නගන
දුවේ මගෙ සිත පෙළයි නුඹ දරන වෙහෙස දැන

දෙමාපිය ඇසුරෙනුත් ඈත්වී සිටින විට‍
සිතට වදයක් වේද තනියෙන්ම සිටින විට
සැනසුමක් සහනයක් සොයා පියනගන ‍විට
සිත චකිතයෙන් පෙලයි අනතුරක් වෙයි එවිට

හදාරා ශිල්ප අද දුක් කදුලු මැද දුවේ
හොද තැනට යන පාර කියාදෙමි හැම වෙලේ
වල්මත් නොවි ඔබ කිසි විටෙක හෙට දිනේ
නින්ද පලවා හැරල අහරින්න මගෙ දුවේ............

Friday, 5 December 2008

සුන්දර දසුන......

සුන්දරයි නෙත් පිනයි..... දසුන දුටු විට ඈත
සිත බියෙන් දැවී යයි දසුන දුටුවිට මෑත
නිහඩමුත් දිය පහර සැඩ පරුෂ වෙයි විටෙක
කල්පනාවෙන් යුතුව නිවාගමු ‍ගත වෙහෙස....

Sunday, 30 November 2008

උගතුන් සියරට හැරයාම

ලංකාවට විදේශ විනිමය ලබාදෙමින් තම ආර්ථිකය වඩ‍වා ගැනීම පිණිස පිටරට රැකියාවන් සදහා යන දිරිය කතුන් මෙන්ම පුරුෂ පක්ෂයද සිටිති. මෙරටට වැඩිම විදේශ විනිමයක් ලබාදෙන්නේ මොවුන් විසිනි.

එමෙන්ම අපේ රටේ දුප්පත් ජනතාවගේ දාඩිය බිදු වගුරමින් සපයන මුදල් වලින් අකුරු කර උසස් අධ්‍යාපනය හදාරා සමත්වන අපේ රටේ දරුවෝ සියරටේ රැදෙන්නේ ටික කාලයක් පමණි. විශේෂයෙන් විද්‍යා අංශය හා ඉංජිනේරු අංශවලින් ශිල්ප හදාරා බුද්ධිමතුන් ඇමරිකාව, එංගලන්තය , ඕස්ටේලියාව , කැනඩාව වැනි දියුණු රටවලට සංකමණය විම වර්තමානයේ දක්නට ලැබෙන සුලභ දසුනකි.

සියරට මුදලින් ඉගෙනගෙන එහි පතිපල අහිංසක ජනතාවට නොලැබීම අභාග්‍යයකි. එය අපේ අවාසනාවකි. සමහර දෙමාපියන් තම දරුවන් පිටරට සේවය කිරීම පිළිබද උදම් අනති . අපේ රටේ දුෂ්කර පදේශයක සේවය කිරීම ගැන කීම පවා අවමානයක් සේ සලකති. මේ හෙයින් ‍බොහෝ පිරිස් සියරට අතැර ගොස් පිටරට රැකියාවක් කිරීමට පෙළ‍‍ඹේ. මොවුන්ගේ උගත් කමට සරිලන වැටුපක් නොලැබීයාම නිසාත් , ඔවුන්ගේ සේවය අගය නොකිරිමත් රට හැරයාමට සැලකිය හැකියි.

මේ හෙයින් අපේ බුද්ධිමය දේපලක් වන රටට අවශ්‍ය උගතුන් සියරට හැරයාම වලක්වා ගැනීමට යමිකිසි පියවරක් ගත යුතුවේ.

Sunday, 23 November 2008

මට පෙනෙන හැටි

දුටුවෙමි විෂකුරු සර්පයෙක්.. ඇදෙන හැටි ගුලකටඑනමුත් බිය නොවීය මසිත ඒ සැබැවින්ම සර්පයෙක්
බව දැනගත් නියාවෙන් මෙන්ම හානියක් සිදුනොවන බව හැගුන නිසා.

මද දුරක් ගියවිට දුටුවෙමි විශාල බල්ලෙක් . සිත සැලුනත් මගහරිමින් ගියෙමි උගෙන්.

සිනා පොකුරක් මුවදරාගෙන එන මිනිසෙකු මුන ගැසුනි එසැනින්. ඇතිවිය බියක් හා චකිතයක් මසිත නොදැනිම. සිතුවෙමි වෙනස කිමද කියා. මසිත තෙ‍රපෙන.

පසක් විය ක්ණයකින් තේරුම්ගත නොහැකි එකම පුද්ගලයා මිනිසා වන නිසාවෙන් මසිත බිය වු බව.

Tuesday, 18 November 2008

හුදකලාව

අතීතයෙ එක්ව අපි - ගෙවු ඒ සොදුර ලොව
අද නොමැත පේනනෙත් මානයක පෙනෙන්නට
සොයුරු සොයුරියන් ලෙස ස‍හෝදර පෙම් දමින්
නොදැනිම නිමවුනා කාටවත් නොකියාම

සිනා සී එක්ව අප කල කවටකම් එදා
මතකයේ ඇත තාම අමතකව නොයන ලෙස‍
ඔපිස් ආ විගස අපි එක්වෙලා සිනා සී
කාට හෝ විහිලුවක් කරමිනුයි වැඩ කලේ

නොදැනුනා පාලුවක් මෙන්ම දැඩි විඩාවක්
සැනසුනා සිත් අපේ මානුෂත් භාවයෙන්
සිහිකරමි නිරතුරුව ඒ මිතුරුදම් අපේ
සිහිනයක් පමණි අද තනිව ඇත මංපෙතේ....

Thursday, 13 November 2008

නාඩන් පුතුනි


රන් කහවනු සොයනු පිණිස - නු‍‍ඔ තනිකර එතෙර ගියත්
සිතකින් නොව මා සිටින්නෙ - නුඹ දන්නැහැ මගේ පුතේ
දුප්පත් කම දෝත දරා - ඉපදුන අපි මෙලොව මෙලෙස
පිහිටක් නැති තැනම මෙමා - පිය මැන්නා එතෙර යන්න

අහිතක් නොසිතන්න පුතේ - තනිකර මා ගියත් එතෙර
නුඹ හඩනා හඩ රැවු‍දේ - දෙසවන් ‍මගෙ දොර ගලා
නුඹ වෙනුවෙන් එරෙනු මගේ - කිරි ගලාන යයි ඉවතට
දෑසේ කදුලැලි වැගිරෙයි - නුඹ වෙනුවෙන් මගෙ රන්කද

රන්කහවනු පොදියක් බැද - හෙට දිනයේ මා එනවිට
අම්මා කව්රුන්ද කියා - අසයි මගේ පුතු නි ඔයා
අනාගතයේ අපේ ලොවේ - කිරැඵ පලදවන්න සිතා
පැතුම්පතමි මම අද දින - දහදුක් විද ජය ගන්න සිතා....

Thursday, 23 October 2008

පුස්තකාල සේවය


පුස්තකාලයක් කියු පමණින් අප සිතේ මැවී පෙනෙනේ පොත් සමූහයක් රාක්ක ගත කර හෝ අල්මාරි වලට දමා පාඨකයින්ට පොත් නිකුත් කරන ස්ථානයක් ලෙසයි. එයට අමතරව පුවත්පත් , සගරා , ගැසට් ආදිය තැන්පත් කර ඇති ස්ථානයක් ලෙසයි. එසේ නොමැතිව මහත් සමාජයකට දැනුම් සම්භාරයක් ලබාදෙන බුද්ධිමය දේපලක් ලෙස සිතට නැගෙන්නේ කලාතුරකින් කෙනෙකුට පමණි.

පුස්තකාලයක වැඩ කරන සේවකයින් ගැන අද සමාජයේ තිබෙන තක්සේරුවද එසේමය. පුතකාලයෙන් පොතක් දිම පමණක් එහි වැඩ කරන සේවකයින් අතරින් සිදුවන බව සමහරු සිතයි. නමුත් පොතක් රාක්කගත කිරීමට පෙර කලයුතු වැඩ කොටස ගැන ,ඒ සදහා දැනුමක් අවශ්‍ය බව සිතන අය අඩුය. විශේෂයෙන් පළාත් පාලන ආයතන වලින් පාලනය වන පුස්තකාල සේවය ගැන මෙවැනි තත්වයක් උදාවී ඇති බව සදහන් කරනු කැමැත්තෙමි. විශ්වවිද්‍යාල වැනි උසස් අධ්‍යාපන ආයතන වලින් පාලනය වන පුස්තකාල නම් මීට වඩා හාත් පසින් වෙනස්ය.

වෙනත් වෘත්තීන් හා සැසදීමේදී පළාත් පාලන ආයතන මගින් පාලනය වන පුස්තකාලවල සේවකයින්ට උසස් වීම් හා පංති කිරීමක් කරනු ලබන්නේද කලාතුරකිනි. මේහෙයින් එම සේවකයින්ගෙන් ලබාගත යුතු සේවයද මනදගාමී වේ. නිසියාකර පිළිගැනීමක් , සේවය ඇගයීමක් නොමැති හෙයින් මානසිකව ඔවුන් පහත් මට්ටමක සිටී. මෙය අවබෝධ කරගැනිමට කිසිවකු නැත. කාර්යාල අතරත් පුස්තකාල සේවකයින් පහත් මට්ටමක සලකන අයද සිටින නිසා ඔවුන් තව තවත් මානසිකව වැටේ . එමනිසා නිලධාරීන්ගේ තිබෙන අධ්‍යාපන සුදුසුකම් අනුව හා සේවා කාලය අනුව ඔවුන්ට හිමිවිය යුතු වරම් ලබාදෙනවා නම් වඩාත් උචිත සේවාවක් සමාජයට ඔවුන්ගෙන් ලබාගත හැක.

කෙසේ නමුත් රජයෙන් ලැබෙන වැටුපට සරිලන සේවාවක් කිරීම රාජ්‍ය සේවකයින් වන අපගේ යුතුකමක් හා වගකීමක් වනු ඇත. කවුරු කෙසේ අවතක්සේරුවට ලක් කලත් තම යුතුකම නිසියාකාරව ඉටු කිරිමට අපගේ පැතුම විය යුතුය.

Wednesday, 8 October 2008

දරුණු ඇයි ‍මේ තරම්........


වැටුනු වලෙන් ගොඩගත්තේ පව් සිතලා
දරුණු ලෙස කිමද කිපුනේ සිත් දැඩිවීලා
සසරේ කල පව කිමද මා මරණෙට ලංකරලා
තරහක් නොමැත මාසිත නුඹ තිරසං සිතලා

Monday, 6 October 2008

රැකියාව සහ ගෘහනිය

පුතා නැගිටින්න..... ඉක්මනට පරක්කු වෙනව. බස්එකත් යයි. මට අදත් රතු ඉර වදයි. බොස්ගෙන් බැනුම්
අහන්නත් වෙයි. ඇගමැලි කඩමින් නැගිටින දරුවාට කඩිමුඩියේ සාදාදෙන ‍තේ එක දෙමින් තවත් වැඩක්
කරමින් යුද්දයක් කරන්නේ වේලාසන රැකියාවට යාමටයි. දහවලට සැමියාටත්, දරුවන්ටත් කෑම පාර්සල්
සකසා දෙමින් තමාත් සාරියක් පටලවාගෙන නියමිත වේලාවට රැකියාවට යායුතුව ඇත.
අද පවතින ආර්ථික තත්වය දෙස බලන විට එක්කෙනෙකු පමණක් රැකියාවක් කර ලැබෙන ආදායමෙන්
මාසයේ වියදම ණයක් නොවී පියවාගත නොහැක. එයට උදව්වක් ලෙස 75% ක් පමණ අද බිරිදත්
රැකියාවක නිරතවෙයි. මේ තත්වය මත අසරණ වන්නේ දරුවන්ය. උදෑසනින් දරුවන් පාසැල වෙත
යොමුකර දෙමාපියන් රැකියාවට ගොස් එනතෙක් දරුවන් සිටින්නේ හිතවත් අසල්වැසි ගෙදරක හෝ
දරුවන්ගේ ආරක්ෂාවට සිටින මෙහෙකාරිය සමගය. නැවතත් රැකියාවෙන් මිදී ගෙදරට බිරිද එන්නේ
හොදටම හෙම්බත් වෙලාය. බසයේ තෙරපෙමින් සමහර වෙලාවට හිටගෙනම ගමනාත්තය දක්වා බසයේ
ගමන් කිරීමට සිදුවන අවස්ථා‍ද එමටය. සමහර වෙලාවට රැකියා ස්ථානයේ ‍කුමක් හෝ ගැටලුවක් හිසේ
දරාගෙන නිවසට පැමිනෙයි.

තම මව හෝ පියාගේ රුව දකිනතෙක් නොඉවසිල්ලෙන් පෙරමග බලා සිටින දරුවාට මේ කිසිවක්
නොහැගේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ උදේ සිට සවස් වනතෙක් නොලැබුන මව් සෙනෙහස හෝ පිය
සෙනෙහස ලබාගැනීමටයි. එහෙත් වෙහෙසට පත්ව සිටින මව් පියන්ට මෙය හිසරදයක් වන අවස්ථාද
නැතිවා නොවේ. මේ හේතුව මත දරුවාගේ අධ්‍යාපන කටයුතු ද අඩපන වන අවස්ථාද එමටය. හේතුව
ගෙදර ආ විගස ගෘහනිය බලන්නේ ඉක්මනට රෑ කෑම සකසා ගැනිමටය. දරුවන් නින්දට යන්නට පෙර
ඔවුන්ට කෑම ටිකක් කවාගැනිම ඇයගේ ඊළග උත්සාහය එය වන හෙයිනි. මේ අයුරින් බලන විට
ගෘහනියක් රැකියාවක නිරත වීම දරුවන් ඉමහත් අසහනකාරී තත්වයට පත්වීමට හේතුවක් වනු ඇත.

පෞද්ගලික ආයතනවල රැකියාවල නියුතුවන කාන්තාවන්ට මෙයටත් වඩා දුෂ්කරතා වලට මුහුන පෑමට
සිදුවන අවස්ථා එමටය. ඔවු‍න්ගේ වැඩමුරය නිමවන්නේ සවස 7.00 ට පමණ වීම මෙයට හේතුවේ‍.
කෙසේ නමුත් පවතින ආර්ථිකය සමග පොරබදින්නට වෙහෙසෙන ගෘහණිය රැකියාවක නිරත වීම
පෞද්ගලික ජීවිතයට විශාල තර්ජනයක්ව පවතින බව කිවහැකිය.

Thursday, 2 October 2008

උදාරයි අද ඔබේ මෙහෙවර....


ජීවිතය පරදුවට තබමින්
මගේ මව්බිම බේරගන්නට
යුධ වදින රණ විරුවනේ
පුදන්නෙමි උපහාර ඔබහට....

අහිංසක දරු පවුල තනකර
සියඵ සැප සම්පත්ද අතහැර
රුදුරු සතුරන් සමග එකිනෙක
ගැටී පරදුවට පියමැන....

ජයකොඩිය ඔසවන්න හෙටදින
ඔබේ බලය ශක්තියද තෙද
වඩා හොබවා තවත් වෙර ගෙන
ජය පතමි අපි සැවොම අද දින

උදාරයි ඔබෙ මෙහෙය අගයමි
සදාතනිකයි අගයයන්නෙමි
ලැබේවා ශක්තියද ධෛර්යය
පතමි නිබදව ඔබව සිහිකර

Monday, 29 September 2008

ජීවන ගංගාව......


දුටුවිට පිනවයි නෙත් ඈත සිට බැලුවිට
ගත සීතලෙන් වෙලෙයි ලං ලංව බැලුවිට
දිය ගැඹුර නොදැනෙයි එකවර බැලු විට
ජීවිතය ඒ වගෙයි නොදැනෙයි ගලන අත

Monday, 22 September 2008

අහිමි පුතුණි ...........

පුංචි ඇදුම් පොඩි මැසුවේ නුඹව හැඩ කරන්නයි
තොටිල්ලකුත්‍ ගෙන ආවේ නුඹව සතප වන්නයි
දෙතනේ ඇගේ කිරි එරුනේ සෙනෙහස පතුරන්නයි
නැළවිලි ගී පුරුදු වුනේ නුඹව නලව ගන්නයි

දහසක් පැතුමන් ඉටුවී මව් පදවිය ලැබුවා
හිමිදිරියේ පුංචි පුතෙක් මව් තුරුලට ආවා
මවගේ උණුසුම ලබමින් බිළිදා සැනසුවා
සිතේ සතුට දෝර ගලා මව සැනසුම ලැබුවා

පසුදින කිරි දෙන්න සිතා මව බිළිදා සෙව්වා
මෙලොව අතැර ගොස් බිළිදා සුරලොව නිදි ලැබුවා
දරා නොහෙන වේදනාවෙ මව නිති වැල පෙව්වා
සොහොන් බිමේ පුතු තනිකර මෙ‍ලොවින් සමු දෙව්වා

Wednesday, 17 September 2008

රුවන් වැකි

විවේචනය
කෙනෙකු නැතිවිටෙක ඔහු දුෂ්ඨ ලෙස විවේචනය කිරීම වීරකමක් නොවේ.


තනිව ජීවත් වීම
තමා ඇසුරට ගැලපෙන කෙනෙකු නැතිනම් පහත් පුද්ගලයින් ඇසුරට වඩා තනිව ජීවත් වීම වැදගත්ය.

ඉවත් කරන්න
අවිනිශ්චිත සිත අභය භූමියක් කර නොගෙන ඉවත් කරන්නට පියවර ගන්න.

අවදි වන්න
එක දිගටම වැඩකර ඉන්පසු සිත කය විවේකීව තබාගන්න. ඉන්පසු නින්දෙන් පසු සැහැල්ලුවෙන් පහන් සිතින් නැවුම් ගතියෙන් අවදි විය හැකිය.

Monday, 15 September 2008

නුඹ සහ ඇය........


මව්පිය ආසිරි මැද්දේ
පතිකුලයට ගිය නැගණිය
ඔහුගේ රැකවරණය ලබමින්
දිවි ගෙව්වා සුපුරුදු ලෙස

පෙරදා පෙම්කල දහවත්
නොදැනිම යළි හමුවූවිට
ඔහු හා ඇය ලංවුවා
සිත් හා නෙත් එකට බැදී

ඔහු අන්සතු බව දැන දැන
යළි ඇගෙ සිත ඇදී ගියත්
අමතක කරනට සිතුවත්
යළි මතකය අලුත් වෙලා

සිතින් පමණක් ඔහුව ඇගෙකර
සදාතනිකව ඔහුට පෙම්කර
මුඵ හදින් ඈ ඔහුට ලංවී
ගතින් පමණක් ඈත්වූවා

Tuesday, 9 September 2008

විවේචන..

සිතට නැගෙන දුක්-සොම්නස නිවා ගන්න
එක්වුවා ඔබ සමගින් බ්ලොග් සටහන් ලියා ගන්න
බෙදා හදා ගත්තා අපි දැනුම් සයුරෙ කිමිදි ඉන්න
ඒ අතරට ඔබෙ අදහස් පෑවා තව තව ලියන්න

සිත දිරිගෙන ඉදිරියටම යන්න සිතා
සිතට නැගෙන නව අදහස් ලිව්වෙ ගොතා
වැරදි ඇත මගේ ලිපිවල කියමි සිතා
විවේචන වලින් එයදැක ගතිමි ඉතා

ලිවීමට මසිත අදහස් නොමැති විට
ලියවෙයි එදිනෙදා ඇසු දුටු දෙය එවිට
වරදවලා තේරුම්ගෙන ඔබ එයට
මසිත නොරිදවා අදහස් දන්වන්ට

Sunday, 7 September 2008

මීටර් එකට අඩි කීයද

දඑක්තරා විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්නා සිසුවියන් කිහිපදෙනෙකුගේ වැඩක් ගැන තමයි මම අද ලියන්නේ. මෙය සත්‍ය සිද්ධියක් බව මුලින්ම සදහන් කල යුතුයි.

තමාගේ නවාතැන් පොළ නැත්නම් හොස්ටල් එක ආසන්නයේ පිහිටි කඩයකට ගොඩ වැදුනු මෙම ශිෂ්‍යයාවන් තමාගේ අවශ්‍යතාවයක් සදහා එම කඩෙන් නුල් ඉල්ලන ලදී. අය්යේ අර රෙදි එල්ලන නූල් තියනවද.... ‍කඩේ මුදලාලි උඩ බිම බලන්නට විය. මොන නූල්ද නංගි. මට පැහැදිලි නැහැනෙ. මුදලාලි කියන්නට විය. අය්යේ අර අව්වෙ රෙදි දාන කොට රෙදි දාන නූල් . මුදලාලිට සියල්ල පසක් විය. හරි නංගී ඔයාලට ඒකට තංගුස් නූල් වගයක් තියනවා මෙන්න මේවා . කොච්චර ඕනිද.... මුදලාලි අසන්නට විය. අය්යේ මීටරයක් ඇති. මුදලාලිට සිනා පහළ විය. වැරෙන් එය වලකා ගත් මුදලාලි . නංගී මීටරයක් කියන්නේ මෙච්චර දිග ඇති. කියලා මීටර්යක් දිගට තංගුස් නූල තබා ඔවුන්ට පෙන්වා ඇත. මේ අතර මේ ළමයින් ඉල්ලන්නේ .තංගුස් නූල් බවත්.. අවශ්‍ය වන්නේ රෙදි දැමීමට පිළිවැලක් බවත් මුදලාලි අවබෝධ කරගෙන අවසානය.

කෙසේ හෝ මෙය දුටු ළමයින් අනේ අය්යේ ඔච්චර මදි. කෙසේ හෝ අවශ්‍ය තරම් මුදලාලි විසින් ඔවුන්හට දෙන ලදි.

උසස් පෙළ හදාරා සරසවියට පිය නගන එම සිසුන් අතර කෙතරම් දැනුම් සම්භාරයක් තිබෙන්නට ඇත්ද ... අහෝ ‍මෙවැනි දැනුමක් ලබාගෙන සරවියෙන් පිටවෙන අපේ ඉදිරි පරපුර මොන ආකාරයට රට ගොඩ නගයිද. පැනයකි .. එය ඔබ විසින් තීරණය කරනු මැන.

Monday, 1 September 2008

බොළද කතා...

පසුගිය ඉරිදා දිනයෙහි දහවල් රූපවාහියේ දර්ශනය වුනු එක්තරා සජීවී වැඩසටහනක් දහවල් කෑම ගන්නා අතර තුරදී මමත් දරුවන් දෙදෙනාත් නරඹමින් සිටියා. එම වැඩසටහනට සහභාගී වී සිටියේ නඵනිලියන් කිහිපදෙනෙකි. නොයෙකුත් විහිලු , ගීත ගායනය සහ තවත් විනෝදාත්මක වැඩසටහනක් ඒ අතරතුර පැවැත්වුවා.

විනාඩියක් යම් මාතෘකාවක් ඔස්සේ කතා කිරීම තමයි එම වැඩසටහන. එක් මොහොතකදී එක්තරා නිලියකට ලැබුනේ ජලය ගැන විනාඩියක් කතා කිරීමටයි. මගේ කුඩා දරු දෙදෙනාත් මේ ගැන ඇසිපිය නොහෙලා බලා සිටියා. නිලිය ජලය ගැන තකා කරන්න පටන් ගත්තා .

ජලය නිල් පාටයි. ජලය ගලාගෙන යනවිට තාරකා ආකාරයට පේනවා. ජලය ලස්සනයි. අපේ එදිනෙදා වැඩ වලට ජලය අවශ්‍ය වෙනවා. ජලය ගොඩක් තියනවා. ඔය ආකාරයට කතාව විනාඩියක් දිගටම එම තැනැත්තිය කතා කලා ජලය ගැන. කෙසේ හෝ ඇය ජයග්‍රහනය කලා . ලොකු අත්පොලසන් හඩක් ඇසුනා. ඒ අතර ඇයට තෑගිත් ලැබුනා. මගේ දරුවන් දෙදෙනා බයවෙලා වගේ බලා සිටියා. මම ඇසුවා ඇයි පුතේ කියලා.

අම්මේ ජලයට කොහෙන්ද පාටක්. ජලයේ කොහෙන්ද තාරකා වගේ තියෙන්නේ......
‍ඒදෙන්නා ලොකු ගැටලුවකට මුහුන පාලා. ඇත්ත තමයි .. මේ වගේ මුලු‍ ලෝකයක් බලා සිටින ජනමාධය තුලින් වැරදි දේ පෙන්වන්නේ ඇයි. කතා කරන්නේ ඇයි. තුනේ පංතියේ ළමයෙක් කතා කලානම් හොදට හිතලා බලලා ඔයිට වඩා හොදට ජලය ගැන කතා කරන බව මගේ ලොකු දෝණි පැවසුවා.


කාට කියන්නද මේවා.................

Sunday, 31 August 2008

අනුකරණය

ගුඩ් මොනිං හැමෝටම..... ගුඩ් මෝනිං ටීචර්....
අද හැමදෙනාම මල් ගෙනාවද .. ඕවි... හරි දැන්
හැමදෙනාම පේලියට එන්න මල් පුජා කරන්න..
කව්ද ඔය .. පේලියෙන් පිට පනින්නේ ... එන්න පේලියට..
හරි දැන් ගාථා කියලා මල් පූජා කරන්න...

හැමදෙනාම පේලියට පංතියට එන්න.... දැන් වාඩිවෙන්න
පුංචි කොලයක් හා පෑනක් ගත් ඇය පැමිනීම ලකුණු කරයි.
චමිලා present...දසුන් present... ඔය ආකාරයට දිගටම
නම් කියාගෙන යයි.

දැන් හැමෝම මේ බලන්න ම‍ගේ අතේ තියන පිංතූර දිහා ..
පේනවද හැමෝටම... හොදට බලන්න .. මේ ‍අතේ තියෙන්නේ
මොකක්ද .... මලක් .... හරි මොන පාටද... රෝස පාටයි..
හා හරි හොදයි..... ඔය ආකාරයෙන් ගොඩක් වෙසක් කාඩ් පෙන්වමින්
ළමයින්ගෙන් විස්තර අසයි....ඉද හිට මමද ඇයගේ ගෝලයෙක් වෙයි.

මේ මම ඉහත දැක්වුයේ මගේ පුංචි දෝණිගේ මොන්ටිසෝරියේ විස්තරයි.
ඉරිදා එයාට නිවාඩු නිසා තනිවම ගෙදර මොන්ටිසෝරියක් දමලා..
කොහොමහරි මේ වැඩේ නිසා මම උයමින් සිටි ව්‍යාංජන වලට ලුණු දාලත්නෑ.
ඒ තරමට මම එයට සම වැදුනා...

මෙයින් මම උගත් පාඩම වූයේ පුංචි දරුවන් වැඩිහිටි අප කොතරම් දුරට අනුකරණය
කරනවාද යන්න හා... වැඩිහිටි අපගේ වැරදි ආදර්ශ ඔවුන් කොතරම් පිළිපදිනවාද...
යන්නයි.

Wednesday, 27 August 2008

රුවන් වැකි

සත්පුරුෂයා

අසත්පුරුෂයා සත්පුරුෂකමින් ජය ගත යුතුය.

සතුටුවීම

සියලු ධනයන්ට වඩා ලද පමණින් සතුටුවීම උතුම් ධනයකි.

වැරැදි

අනුන්ගේ වැරැදි සොයනවාට වඩා තමාගේ වැරැදි සෙවීම උතුම්ය.

තෘප්තිය

මිනිසාට කහවුණු වැස්සක් වැස්සත් වස්තුව පිළිබද තෘප්තිය නැත.

Tuesday, 26 August 2008

මෙහෙමත් කාලයක්...

ඊයේ රෑ ටීවී එකේ විකාශනය වුන පුවතක් ඇසු මගේ සිත සසල වී ගියා. බදුල්ල පලාතේ පාසැල් යන වයසේ ගැහැණු ළමුන් 30 දෙ‍නෙකු පමණ අනාථ වී ඇති බව එයින් සදහන් වුනා.

ටියුෂන් යන මුවාවෙන් නොයෙක් අපචාර වලට ලක්වී ඔවුන් මෙම තත්වයට පත් වු බව තමයි කියැවුනේ. එහෙත් දහසකුත් එකක් බලාපොරොත්තු මැද නොයෙකුත් දුක් ගැහැට විදිමින් දෙමාපියන් වෙර දරන්නේ තරග කාරී අධ්‍යාපනයට තමා‍ගේ දරුවාත් ඉදිරිපත් කිරිම‍ටයි. එවන් දහසකුත් එකක් බලාපොරොත්තු මැද තරග කරන එම දරැවන්ගේ දෙමාපියන් මෙන්ම අපිත් මෙවන් පුවතක් ඇසු විට පත්වන අසීරුතාවය කෙසේනම් විස්තර කරන්නද කියලා මටවත් වැටහෙන්නේ නැහැ.

අපිත් එක්ක එකතුවන බ්ලොග් අඩවියේ සොයුරින් සීමිත බැවින් මෙවැන්නක් ලිවීමෙනුත් ඇති පලක් නැහැ. ඒත් අනාගතයේ රට බාර ගන්න ලස්සන පුංචි සමනල පැටව් මෙසේ අකාල‍යේ විනාශ වී යාම කෙසේ හෝ වැලැක්විය යුතුය. එයට රටේ කවුරු හෝ වගකිව යුතුය. විශේෂයෙන් දෙමාපියන් වන අපත් එයට වගකිව යුතුය. යලිත් මෙවන් පුවතක් අපේ සවන් වෙත යොමු නොවේවා යි පතමි.

Sunday, 24 August 2008

රුවන් වැකි

සමාව

අපට බලගතු අසාධාරණයක් සිදුවූ විට, ඒ තුවාලය සනීප වනුයේ අසාධාරණය සිදුකල පුද්ගලයාට අපගේ සමාව ලැබුනවිට පමණි.


වචන පාවිච්චිය

පවනට වැඩියෙන් වචන පාවිච්චිය කිරීමෙන් ඕනෑම හොද අදහසක් හුස්ම හිරකොට මරාදැමිය හැකිය.


ධෛර්ය

භීතිය නැමැති ගංවතුර වළකනු සදහා අප නිතර ධෛර්ය නැමැති පවුරු තැනිය යුතුය.

විනාශය

ගතානුගතිකත්වය නිසා අප අඩක් විනාශ වී හමාරය. හැබැයි එය නොතිබෙන්නට අප සහමුලින්ම විනාශ වන්නට තිබුණි.

Wednesday, 20 August 2008

දයාබර අය්යණ්ඩි.....

බහ තෝරන සමයේ සිට
ඔබෙ ඔවදන් පිළිපදිමින්
පිය නැගුවා ජීවිතයේ
හිනි මංපෙත දක්වා

මිනිසුන් ගැන අව‍බෝධය
ලබාගත්තෙ නුඹ නිසාය
හොද නොහදත් හදුනගත්තෙ
නුඹ මට දුන් පන්නරයෙනි

පතිණියක්ව ගිය දින සිට
නුඹෙ උනුසුම අහිමි උනා
සොහොයුරැ පෙම කිමද කියා
හොදහැටි මට මෙනෙහි වුනා

උපදින මතු සංසාරෙත්
මගෙම සො‍හොයුරකු විලස
හමුවෙමි අපි නිබද පතමු
ගතවෙන මොහොතක් පාසා...

Tuesday, 12 August 2008

අතීතයේ සුවද බිදු....


පුංචි සමනල වියේ...
සැදු වැලි මාලිගය
දරැණු සැඩ පහරකින්
සුනු විසුණු වී ගියා....
පැතූ පැතුමන් එලෙස
ඡන්ඩ මාරැතයකින්
දිනෙන් දින මිලින වී
ඈත දුරකට ගියා......
සිප් සතර කර එකට
පිය නැගූ මාවතේ
රෝස පියුමන් පිපී
සුවදවත් වී ගියා....
ඒ නමුත් එක් දිනක
මගෙන් ඔබ දුරස් වී
වෙනකෙනෙකු අත රැදී
දුරක පියමං කලා..............

Monday, 11 August 2008

අපි නොසිතන දේ...

දිගු නිවාඩුවකට පසු මට ලියන්න හිතුනා. ඉන්ටර්නෙට් පහසුකම් නොතිබු නිසා පසුගිය දිනවල ලියන්න බැරි උනා.

දිනක් මම රාජකාරී වැඩක් කර ගැනීමට එක්තරා රජයේ කාර්යාලයකට ගොඩවැදුනා. මගේ රාජකාරිය කර ගැනීමට තැනින් තැන වැඩ කරන මහත්ම මහත්මීන් කීප දෙනෙකු ලගටම යන්න සිදුවුනා. අවසානයේ බැලුවාම එය එතරම් දුරක් යන්නෙ නැතුව සෘජුවම කරගන්න හැකියාවක් තිබුන බව මට අවබෝධ වුනා.

කෙසේ නමුත් ඔය අතර ලස්සන කාන්තාවන් දෙදෙනෙකුගේ කතාවකට මගේ සවන් යොමුවුනා. ඒ එම කාර්යාලයේම වැඩ කරන දෙදෙනෙක්. මෙන්න ‍මේකයි කතාව.

අනේ .... මෙයා මම නම් හැමදාම උදේට නාලා තමයි වැඩට එන්නෙ. මොකද මට නැත්නම් ඉන්න බැ. බස්වල එනවිට ඊට දෙවෙනි නැ. එක එක්කෙනාගෙ දාඩිය ඇගේ ගැවෙනව. අප්පිරි‍යාවේ බැ. ඒක නිසා නාන්නේ නැතිව ඉන්න බැ. ඔව් ඒක නම් හරිම හොදයි. මොකද අනිත් අයගේ යහපත උදෙසා . ඒත් බැලුවම ඔය නාලා ඇග පිරිසිදුකර ගත්තට වැඩ ක් තියනවැයැ. සිත පිරිසිදු නැත්නම් . චරියාව පිරිසිදු නැත්නම්. හොයලා බලන විට එයා තරම් නරක වැඩ කරන , අනික් අයට කැපිලි දාන ‍කෙනෙක් ඒ ඔපීස් නැතිතරම්ලු.

එහෙම බලන විට මටනම් හිතෙන්නෙ බාහිර පෙනුමෙන් අනිත් අය අභිබවා ගියාට කිසිම පලක් නැ. රජයේ සේවකයකු හැටියට අපි නිතරම අනිත් අයට ‍මොකක් හෝ උදව්වක් කරන්න ඕනි. නිතරම අවංක වෙන්න ඕනි. නැත්නම් අපි රජයෙන් ගන්න වැටුපට ණය කාරයෙක් වෙනව. ඒක නිසා ගත මෙන්ම සිතත් පිරිසිදු කරගෙන දවසේ වැඩ කරන එක ඇගට ගුණයි.

Monday, 4 August 2008

රැවැති මලක්.................


මුකුලිත වුණු රැවැති මලේ
සුවද හමයි සතර අතේ........
රොන්ගන්නට එයි බඹරැන්
නොවැරටෙන්න රැවැති මලේ

මල් නොතලා රේණු තලා
රොන් ගෙනයයි සමනලයින්
අහිංසකයි ඒ වාගේ
හිත රවටයි නොදැන ලොවින්........

සැඩ පරැෂයි ... හිත් චපලයි
බඹරැන්ගේ සුවද මලේ
සුවද දිදී හැමදාමත්
ලගින් ඉන්න රැවැති මලේ......

Thursday, 31 July 2008

රැවන් වැකි.....

දුෂ්කරයි

තමාට අ
හිතකර වු වැරදි දේ පහසුවෙන් කළහැකිවේ.
එහෙත් තමාට හිතකරවු නිවැරදි යහපත් දේ සිදුකිරිම
ඉතා දුෂ්කරය.

තෘප්තිය

මිනිසාට කහවුණු වැස්සක් වැස්සත් වස්තුව පිළිබද
තෘප්තිය නැත.

නීරෝගී බව

සියලු ලාභයන්ට වඩා නීරෝගීකම උතුම් වු ලාභයකි

සතුටු වීම

සියලු ධනයන්ට වඩා ලද පමණින් සතුටුවීම උතුම්
ධනයකි.



Wednesday, 30 July 2008

සුන්දරයි ඔබේ ලොව...............

හිමිදිරියෙම මාගේ දෑගිලි වල දැවටී ගුරැපාර දිගේ පුංචි දෙපා තබමින් පියවර මැන්‍ේ...
ළදරැ පාසැලට යන්න. අතරමගදී ඇගේ මුවින් පිටවු දහසකුත් එකක් ප්‍රශ්න වලට උත්තර දෙමින්
නොදැනීම ඇගේ සුන්දර ලෝකයට ඇතුඵ වුවා.

මාගේ දෑගිලි වලින් මිදුනු ඇය දුවගෙන ගියේ එතරම්ම තවත් යහඵවෙක් වෙත . ඇය මාගේ දියණිය
ගේ සුරත ගෙන ගලක් මත වාඩිවී ඇය‍ගේ උකුලේ මාගේ දියණිය වාඩි කර ගත්තාය. එම් හැගීම්බර
දසුන දුටු මාගේ නෙත් වලට කදුඵ ඉනුවේ නිමේෂයකිනි.

දයාබර ..... දියණිය ඔබේ ලෝකය කොතරම් සුන්දරදැයි එවිට මට සිතුණි. වැඩිහියටියන් වන අපේ සිත්වල
පවතින කුරිරැකම්, ඊර්ෂ්‍යාව, තරහව ඔබේ එය අහිංසක සිත්වල නැත. ඔවුන්ගේ සිත් අහිංසකය. නිර්මලය.
මටත් එවැනි ලෝකයකට යන්නට ඇත්නම් සිතමින් ..... මම එතැනින් ඉවත්වුයේ නෑවිත් බැරිකමටය.

Tuesday, 29 July 2008

ගැලපීම හා නොගැලපීම......


දුටුවෙමි ඔබේ රැව.... අතීතයෙ එක් දිනක
සිතූයෙමි ගැලපෙතැයි ඔබ ... හා මගේ සිත
දෙපි‍රිසෙත් අසිරි මැද ... එක්වුනෙමි අපි දෙහද
ගැලපෙතැයි ..සියඵ දෙන කියුවේය අපි දෙදෙන
පොරොන්දම් ගැලපුනත් එකට එක කදිමයට
අපේ සිත් දෙපලකය ... දැනුනි එක් දිනක මට
කරන්නට , කියන්නට කිසි දෙයක් නොමැති සද
ගතින් පමණක්ම මිස සිතින් එක් නොවුනි අප
නොගැලපෙන තැන් බලා ගලපගෙන ජීවිතය
ජයගන්න පොරබදිමි .... ඔබ සමග මගේ සිත
නොපරදිමි නොහඩවමී ....පැරදුනත් මෙමා අද
වෛරයක් නොමැත අද අසරණයි මගේ සිත.......

සදාතන බුදුදහම
අමා සිසිලකි නිතින
පැන නැගුන විට සිතක
ගැටඵවක් යම් දිනක
විසදුමක් ලබාෙදයි
නිවාසිත සිසිලකින්..........

Monday, 28 July 2008

දයාබරයි ... මම ඔබට හැමදාම........

දයාබර බ්ලොග් අඩවිය.........

සිටියෙමි හුදකලා වී .... ටික දිනක්
ගොඩනැගුණි දයාබර මිතුදමක් ඒසමග
සෙවුයෙමි දයාබර මිතුරැදම්
කිමිදෙමින් ....... සමාජය තුල
ඒ අතර සිටියා ඔබ සෙනෙහසින්
දයාබර ලෙස .......
බ්ලොග් අඩවියේ සියඵ
මිතුරණි, මිතුරියනි
ඔබ සැම..............
දයාබරව පුදමි ඔබට
එම සෙ‍නෙහස
බ්ලොග් අඩවියේ සියඵ
මිතුරැ මිතුරියන් වෙත.....

Sunday, 27 July 2008

රැවන් වැකි

පිහිට

තමාට පිහිට තමාමය. වෙනත් කවරකුගේ පිහිට නොපතන්න.
තමා විසින් දමනය වී යහපත් සිතුවිලි පිහිට ලබාගත හැකිය.

ඉවසීම

මේ ලෝකයේ බොහා් දෙනා නරකය. ඔවුන් තමාගේ කටට
ආ පමණින්ඇනුම් බැනුම් කරති. ඒ නිසා යුධබිමේදි දුන්නෙන් බිදුන
ඊතලයක් වැදුන ඇතෙකු ඉවසන මෙන් තමාද ඉවසිය යුතුය.


නින්දා කිරීම

අනුන්ට නින්දා කිරීම සදහා ඒ අය කී නොකල දෙය කී බවට
බොරැ දොස් පවරන්නා අපායගාමි ‍වෙයි.

Friday, 25 July 2008

සිතනු මැන මේ ගැනත්...............

මව්පිය උණුසුම අතරින් - වෙන්ව ගොසින් විදුපියසට
හදාරන්න ශිල්ප සතර - උගතකු වන්නට මතුවට

දින සති අවුරැදු ගතවී - අටවෙනි වසරට ආවා..
ලස්සන රෑමත් දියණිය - දස්කම් විස්කම් පෑවා

දෙමාපියන් වැඩියහපත - උදෙසා තවතව දුරටත්
විදුපියසේ මදි හරියට - යැවුවා දියණිය ටියුෂං

ටික දවසක් ගතවන විට - දියණිය වෙනසක් වුවා
දවසින් දවසම ඇයගේ - නොයෙකුත් ලෙඩ පෙන්වුවා

බැරිම තැනම දෙමාපියන් - වෛද්‍ය උපදෙස් පැතුවා
වෛද්‍ය උපදෙස් අහලා - මවට කලන්තය හැදුනා

අ‍හෝ කේදයක්ම උනේ - දරැගැබ සයමසක් උනේ
කලේ වරද කව්ද අනේ - විදුහලෙ ගුරැතුමෙකිලුනේ

මේ වැනි අපරාධ වලට - ඉඩ නොදෙමින් ඔබත් මමත්
තෙලිතුඩකින් සටන් වදිමු - අනාගතය ගැන සිතමින්....

Thursday, 24 July 2008

ඇයි නිහඩ..................

මුහන බැලුවිට අහක බලමින්
‍දෙනෙත් ගැටුනත් මග හරවමින්
නිහඩවම කිම ඉන්නෙ මෙලෙසින්
අසරණයි ........ අද මගේ සිතනම්.......

වේදනාවෙන් රිදුම් දෙයි සිත.......
නොදැනුනත් එහි අරැත කිම අද
සොයයි නිරතුරැ දෙනෙත් ඒ රැව
අසයි මාකල වරද කිම සිත...........

Tuesday, 22 July 2008

සංකේත භාවිතය

අම්බලමේ පිනා පිනා
වළං කදක් ගෙනා ගෙනා
ඒක බිදපි ගොනා ගොනා
ඒකට මට හිනා හිනා

අම්බලම යනු සසරයි. පිනා සත්වයා හා භව ආසාව යන අර්ථ පදයි. වළං කද යනු පංච ස්කන්ධයයි. ඒ අනුව මෙහි අරැත වන්නේ භව‍යේ ඉපදීමට ආසා ඇති සත්වයා වළං කදක් වැනි ශරීරය ඇතිව උපදින බවය. එනම් බුදුන් වහන්සේ සත්වයා සසර සරසැරීමෙන් මුදමින් ඒ චක්‍රය නැවතූ බවයි. එකට මට හිනා හිනා යනු මේ ගැන සියලු සත්වයන් සතුටු වන බවයි. මේ කවියේ අප දන්නා සුපුරැදු සරල අර්ථයට වඩා සංකේත අර්ථය ගැඹුරැය.

මං මුලා නොවනු මැන ......................

ගියෙමි මග තනිව මා හදිසි වුවමනාවට
දුටිමි දසුනක් තැති ගැනිනි එසැනින් ම සිත
නොයනු මග තනිව රැවැති නැගණිය කි ඔබ
සලෙලුන්ගෙ ගොදුරකට හසුවේද නොදනිම්ද.......

පසුපසින් හඹා ත්‍රීරෝද රථයෙ හිටි
මිතුරන්ව මෙන් පෙනුනෙ රකුසන්ය නැගණියේ...
දුරකථනයෙන් මිතුරැ දම් පෑව මුත් අනේ
මංමුලා නොවනු මැන නොහදුනන නැගණියේ..........

නොහඩන්න දියණිය...........

සම්න්පිච්ච මල් පොකුරක්
වගේ තිබුන ඔබේ සිනාව
නිමේෂයෙන් මැකී ගියා........
අදුරැ වෙමින් ඔබගේ මුහුණ
කඩා හැලුන දෙකම්මුලෙන්
මුතුකැටවන් කදුලු බිංදු........
දුක සිතුණා මගේ සිතට
එය දැකලා පුංචි දුවේ
සිතකින් නොව නුඹ දමලා
රැකියාවට එන්නෙ දුවේ
නුඹගෙ දිවිය සුරකින්නයි
නුඹ දමලා එන්නෙ දුවේ...................